Wednesday, July 28, 2021

ඔබ නොදත් ගුණ සහිත තැඹිලි වතුර - King Coconut Water


තැඹිලි යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ පොල් වර්ගයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය King Coconut ලෙස හැදින්වෙයි. ශ්‍රී ලංකාවේ තැඹිලි වර්ග කිහිපයක් පවතී. ඒවා රන් තැඹිලි, ගොන් තැඹිලි හා අපට බහුලව හමු වන රතු තැඹිලි වේ.කෙසේ වෙතත් සියලුම තැඹිලි වර්ග සාමන්‍ය පොල් වලට වඩා පැණි රසකින් යුක්ත වෙයි.

පිපාසය නිවා ශරීරය සිසිල් කිරීමේ අපූරු හැකියාවකින් හෙඹි තැඹිලි වතුර ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව වැනි නිවර්තන කලාපීය රටවල වෙසෙන ජනයා සඳහා සොබාදහම විසින් ලබා දී ඇති පෝෂ්‍යදායී හා සෞඛ්‍ය සම්පන්න පානයක් ලෙස හදුන්වා දිය හැක. සාමාන්‍යයෙන් කෘතිමව නිෂ්පාදනය කරන වර්ණක හා රසකාරක සහිත විවිධ බීම වර්ග සමඟ සසඳන විට ස්වාභාවික තැඹිලි පානය සතු ශරීරය ප්‍රබෝධමත් කර පිරිසිදු කිරීමේ හැකියාව ඉතා ඉහළ වෙයි.

තැඹිලි වතුර වල රසායනික සං‍යුතිය

ශ්‍රී ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයේ, කෘෂි හා ආහාර තාක්ෂණ අංශයේ පර්යේෂණ වාර්තා අනුව පොල් වතුර සහ තැඹිලි වතුර වල රසායනික සං‍යුතියේ සැලකිය යුතු වෙනසක් නොමැති නමුත් පරිණත වීමේ ඕනෑම අවධියකදී පොල් වතුර වලට වඩා 1%ක වැඩි සීනි ප්‍රමාණයක් තැඹිලි වතුර වල පවතින බව තහවුරු වී ඇත. තවද මෙම පොල් හෝ තැඹිලි වතුරේ සං‍යුතියේ විවිධත්වය කෙරෙහි පසෙහි අඩංගු පෝෂක තත්වය සහ අනෙකුත් දේශගුණික තත්වයන්ගේ බලපෑමක් පවතින බව එහිදී තවදුරටත් සදහන් කර ඇත.

ඒ අනුව ගත් කළ තැඹිලි වතුර වල සං‍යුතිය ආසන්න වශයෙන්,

ජලය 95.5% , කාබෝහයිඩ්‍රේට් 4.0%, ප්‍රෝටීන් 0.1%, මේදය  <0.1%, ඛනිජ ලවණ 0.4% ලෙස වෙයි.

තවද ළපටි පොල් වතුරේ විවිධ ඛනිජ ලවණ අඩංගු වෙයි. එයින් ප්‍රධාන වන්නේ පොටෑසියම් වන අතර එහි සාන්ද්‍රණය පසේ ඇති පොටෑසියම් ප්‍රමාණය මත තීරණය වෙයි. ළපටි පොල් වතුර 100ml තුල ඛනිජ අන්තර්ගතය පහත පරිදි වෙයි.

සෝඩියම් අයන 105.0 mg, පොටෑසියම් අයන 312.0 mg, කැල්සියම් අයන 2 9.0 mg, මැග්නීසියම් අයන 30.0 mg, යකඩ 0.10 mg, කොපර් අයන 0.04 mg, පොස්පරස් අයන 37.0 mg, සල්ෆර් 24.0 mg සහ ක්ලෝරයිඩ් අයන 183.0 mg

එසේම මෙම ළපටි පොල් පැසුණු විට මෙම සං‍යුතියේ, විශේශයෙන් එහි අන්තර්ගත සීනි ප්‍රමාණයේ වෙනස්කම් සිදු වේ. එනම් එහි අන්තර්ගත ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් ප්‍රමාණය ඉහළ යයි.

මීට අමතරව ස්වාභාවික තැඹිලි වතුර යනු විටමින් C සහ විටමින් E ද රයිබොෆ්ලැවින්, නියැසින්, තයමින්, පිරිඩොක්සීන් සහ ෆෝලේට් වැනි විටමින් B සංකීර්ණ ද්‍රාව්‍ය තන්තු (soluable dietary fiber) ද අඩංගු වී ඇති පානයකි. තවද ස්වාභාවික තැඹිලි  ආහාර ජීර්ණයට හා පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වන වැනි ජෛව සක්‍රීය එන්සයිම වලින්ද සමන්විත වෙයි .

තැඹිලි වතුර වල ප්‍රයෝජන 

ඒ අනුව ගත් කල ස්වාභාවික තැඹිලි  වතුර මගින් මිනිසාට ලබා දෙන වාසි ගනනාවකි. ඒවායින් ඇතැම් කරුණු දැනටත් විද්‍යාත්මකව තහවුරු කර ඇති නමුත් ඇතැම් කරුණු තවමත් විද්‍යාත්මකව තහවුරු කර නොමැත.

ස්වාභාවික තැඹිලි  මිනිසාගේ බහිස්‍රාවීය පද්ධතිය හා සම්බන්ධ බොහෝ රෝග සඳහා බහුලව භාවිතා වන ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික පිළියමකි. එනම් මුත්‍රා පිට වීමේ අපහසුතා වලින් පෙළෙන අයට තැඹිලි පානය කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකි බව විශ්වාස කරයි. තවද ශරීරයේ උෂ්ණගතිය මග හැර ශරීරය සිසිල් කිරීමටත්, ශරීරයේ ඇති දැවිල්ල අඩු කිරීමටත් තැඹිලි වලට හැකි බව විශ්වාස කරයි.

එසේම ස්වාභාවික තැඹිලි වතුර සතු රුධිර ප්ලාස්මාව හා සමාන අයන සාන්ද්‍රණයක් (isotonic solution) පැවතීමද, එය සතු යැයි විශ්වාස කෙරෙන ස්වාභාවික  විෂබීජ නාශක ගුණය නිසාද එය සේලයින් සඳහා ආදේශකයක් ලෙස සැලකෙයි. තවද ව්‍යායාමයේදී හෝ ශරීරය වෙහෙසවා කටයුතු කිරීමේදී දහඩිය දැමීම නිසා අහිමි වන පොටෑසියම් වැනි ඛනිජ ලවණ සහ තරල ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියවක් තැඹිලි වතුර වල පවතී. එබැවින් එය ක්‍රීඩා පානයක්(Sports drink)ලෙසද සැලකෙයි. තැඹිලි වතුරේ සීනි පැවතියද එය සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බැවින් දියවැඩියා රෝගීන්ටද ආරක්ෂාකාරීව ලබා දිය හැක.

එසේම තැඹිලි වතුර මගින් අත් සහ කකුල් ඉදිමීම අඩු කරන අතර (act as natural diuretic)ඇතැම් ඖෂධ අවශෝෂණය ප්‍රවර්ධනය කිරීමත්, ඇතැම් ඖෂධ ශරීරයෙන් බැහැර කිරීම පහසු කරවන බවටත් සැලකේ. ශ්‍රී ලංකාවේ බඩවැල් ආශ්‍රිත රෝග වලින් පෙළෙන ළදරුවන්ට පෝෂණය සැපයීම සඳහා මෙම ළපටි තැඹිලි වතුර බහුලව භාවිතා කරන බවට සදහන් වෙයි.

කෙසේ වෙතත් ආහාර මාර්ගය ආශ්‍රිත ඇතැම් රෝග වලදී ද (gastritis and gastro esophageal reflux disease), ආහාර මාර්ගය ආශ්‍රිතව සිදු කරන ලද ඇතැම් ශල්‍යකර්ම වලින් අනතුරුව රෝගින්ගේ ආහාර ගැනීම ආරම්භ කිරීමට මත්තෙන්ද (as clear liquid),පාචනය (Diarrhea), අධික රුධිර වහනය හා පිළිසුම් තුවාල ආදියෙන් විජලනය වූ රෝගීන්ගේ ශරීරයේ ඇති වන අයන සහ තරල ඌනතාවය නැවත පිරවීමට සදහා ද, රුධිරයේ අඩු පොටෑසිම් මට්ටමක් හිමි රෝගීන්ගේ (Hypokalemia) පොටෑසියම් මට්ටම නිවැරදි කිරීම සදහාද තැඹිලි වතුර ආහාරවේදීන් විසින් රෝහල් තුළදී භාවිතා කරයි.

තවද තැඹිලි වල වූ ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් පිලිකා සෑදීමට හේතු වන මුක්ත ඛන්ඩක විනාශ කරමින් එහි අවධානම අවම කර ගැනීමට ස්වභාවික තැඹිලි වතුර වලට හැකි අතර ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ලෙඩ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරීමක්ද මේ මගින් සිදුවෙයි. එසේම ධමනි වල ඇති කොලෙස්ටරෝල් ඉවත් කරමින් රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටත් තැඹිලි වතුර තුල හැකියාවක් පවතී.

ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියා සහ පිලිපීනය වැනි රටවල් මෙම සියලු වටිනාකම් වලින් යුක්ත 'විශ්මිත ඖෂධය' භාවිතය ජනප්‍රිය කරවීමට පටන් ගෙන ඇති අතර මේ වන විට එය අපනයනය සඳහා සැකසීමටත් සංරක්ෂණය කිරීමටත් ආරම්භ කර තිබේ. එසේම ශ්‍රී ලංකාවද මෑතක සිට මෙම තැඹිලි වතුර ටෙට්‍රා ඇසුරුම් වල ඇසුරුම් කර අපනයනය කිරීමට යොමු වී ඇත.

        


✍️✍️ Stay Nourished✍️✍️
සුවැති දිවියකට පෝෂණීය මඟ
The Nutritious way for a Healthier Life
🤸⛹️🚴👨‍👩‍👧‍👦👨‍👩‍👧💪☝️🚴⛹️🤸

මූලාශ්‍ර:

කෘෂි හා ආහාර තාක්ෂණ අංශය, ශ්‍රී ලංකා කාර්මික හා ප‍ර්‍යේෂණ ආයතනය, කොළඹ.



 


No comments:

Post a Comment

පිළිකා රෝගීන්හට පෝෂණීය අත්වැලක්........

  පිළිකාවක් (Cancer) යනු , පාලනය කලනොහැකි ලෙස වර්ධනය වන හා සීග්‍රයෙන් පැතිර යන අසාමාන්‍ය මෙන්ම අහිතකර සෛල ගොන්නක් පිළිකාවක් ලෙස හැඳින්වි...